Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

හැම චරි­ත­යක්ම අභි­යෝ­ග­යක්

හැම චරි­ත­යක්ම අභි­යෝ­ග­යක්

උතුම් පැතුම් ටෙලි නාට්‍යයෙන් රංගන වරම් හිමිකර ගත් රුක්ෂානා දිසානායක, සෞන්දර්යවේදී උපාධිධාරිනියකි. ටෙලි නාට්‍ය, වේදිකාව මෙන් ම, සිනමාව තුළත් ඉදිරි පියවරක් තබා සිටින ඇය, නර්තන ශිල්පිනියක් හා නර්තන ගුරුවරියකි. 'නෝ පාර්කින්' හා 'ක්ලික්' ටෙලි නාට්‍ය මඟින් ඇය, මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනාගෙන සිටින්නී ය.

ඔබ මේ ගත කරන්නෙ, බලාපොරොත්තු වූ චරිත ලැබෙන කාර්ය බහුල කාලයක්ද?

දැනට විකාශනය වන ටෙලි නාට්‍යවල වැඩ කරමින් ඉන්නෙ. එතරම් කාර්ය බහුලත්වයක් නැහැ. වැඩක් ලැබුණහම කරනවා. විශේෂයෙන් මේ චරිත කරනවා, මේවා කරන්නෙ නෑ කියලා තෝරා ගැනීමක් නම් නැහැ. අපි බලාපාරොත්තු වෙන දේ, බොහෝ වෙලාවට ලැබෙන්නෙ නැහැ. ලැබෙන දේ හොඳින් කරනවා කියන තැනයි ඉන්නෙ.

මේ වෙද්දි අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් කරලද?

ඔව්. මම විශ්විද්‍යාල අධ්‍යාපනය අවසන් කළා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන අංශයෙන් විශේෂවේදී උපාධිය ලබා ගත්තා. තවම අපට ඒ සුදුසුකමට රැකියා පත්වීම් ලැබුණෙ නැහැ. රැකියාවක් ලැබුණහම, කාලය කළමනාකරණය කරගෙන, ඒත් එක්කම රංගනය සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

ඔබ රංගනයට යොමු වෙන්නෙ අහම්බෙන්ද?

අහම්බෙන් නම් නෙමෙයි. මේ අවස්ථාව උදාකර ගත්තෙ, බොහෝ දුක් විඳලා, පෙරුම් පුරලයි . මම පුංචි කාලෙ ඉඳන් ම රඟපාන්න කැමැත්තෙන් හිටියෙ. අපේ පවුලේ කවුරුවත්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. පාසලෙන් අයින් වුණාට පස්සෙ, මුලින් ම මම ජාතික තරුණ සේවා සභාවේ රංගන පාඨමාලාවක් හැදෑරුවා. රංගන පාසලෙන් රංගන පාඨමාලාවක් හදාරලා සිටිද්දි, මගේ අසල්වැසියෙක් නිල්වලා ව්‍යාපාර අධිපති උපුල් ජයසිංහ මහත්මයා හඳුන්වලා දුන්නා. මට පළමුවෙන්ම රඟපාන්න අවස්ථාවක් ලබා දුන්නෙ, ඔහු නිෂ්පාදනය කළ උතුම් පැතුම් ටෙලි නාට්‍‍ෙයෙයි.

ඔබට ලැබුණ කැපීපෙනෙන චරිත ඇතුළත් නිර්මාණ මොනවද?

උතුම් පැතුම්, මෙඩිසිනා, කෝටිපතියො, සකූගේ කතාව වගේ ම, මේ දිනවල විකාශය වන 'ක්ලික්' හා 'නෝ පාර්කින්' ටෙලි නාට්‍ය නිසා, මා කෙරෙහි රසික අවධානය යොමු වුණා කියලා හිතෙනවා.

නෝ පාර්කින් ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය, සැබෑ සමාජයේ දකින්න නොලැබෙන චරිතයක් කියලා හිතුණෙ නැද්ද?

නෝ පාර්කින් හි මම රඟපාන්නෙ වෙනස්ම චරිතයක්. ඒ වගේම, ඉතා ඉක්මනින් මිනිසුන් අතරට ගිය චරිතයක්. ඒකට හේතුව විදිහට මම දකින්නෙ, නෝ පාර්කින් මඟින්, සැබෑ දිවියේ මිනිසුන් විඳින පීඩාව ඒ විදිහටම සමාජයට දෙන්නෙ නැති වීමයි. අපේ සමාජයේ මිනිසුන් ක්‍රියා කරන විදිහ කිසියම් හාස්‍යමය මුහුණුවරකින් ඉදිරිපත් කිරීම, මෙහි හැම චරිතයක් තුළම දකින්න ලැබෙනවා. එහි මම රඟපාන නිලූගේ චරිතය, ඔය ආකාරයටම ගොඩනැගුණු එකක්.

සරල, සුන්දර චරිත රඟපාන එක පහසුයිද?

නැහැ. මට නම් ලැබෙන හැම චරිතයක්ම අභියෝගයක්. මම රුක්ෂානා කියන කෙනාගෙන් මිදිලා, වෙන කෙනෙක් විදිහට ආරෝපණය වෙනවා කියන එක ම අමාරු දෙයක්. මට නම් කිසිම චරිතයක් ලෙහෙසියි, පහසුයි කියල නැහැ . බොහෝ අය හිතාගෙන ඉන්නෙ, රංගනය කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් කියලයි. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතරක් විතර වෙනවා. මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න දරන වෑයම ගැන දන්නේ අපියි. හැම දර්ශනයක්ම අවධානයෙන් නොකළොත්, අපි ක්ෂේත්‍රය තුළ අසමත් වෙනවා. චරිතයක් හොඳින් කරලා ප්‍රේක්ෂකයා අතරට යනවා කියන එකත් ලෙහෙසි නැහැ. කලාවේ රස නවයක් තියෙනවනෙ. අපේ රංගනයෙදි ඒ රස නවයෙන් එකක් හරි හැම දර්ශනයකම මතු කරන්න ඕනැ. ඒක හරියට නොදුන්නොත්, අපි අසමත් වෙනවා හා ඒ අවස්ථාව අපට කවදාවත් ලැබෙන්නෙත් නැහැ. රංගනය, හැම විටෙකම අවධානයෙන් හා අවංකව කළ යුතු දෙයක් විදිහටයි මම දකින්නෙ.

පාසල්වියේදිත් ඔබ කලා කටයුතුවල යෙදුණු කෙනෙක්ද?

ඔව් . මගේ පාසල කොළඹ දේවි බාලිකා විද්‍යාලය. මම අට වසරේ ඉඳන් ම පාසලේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා . ප්‍රථම වතාවට අපේ පාසල් නාට්‍ය කණ්ඩායම ඉන්දියාවේ ලක්නව්වල පැවැත්වුණ නාට්‍ය තරගයකින් ජයග්‍රහණය ලබා ගත්තා. ඒ නාට්‍ය තරගය නියෝජනය කරන්න මටත් අවස්ථාව උදා වුණා. ඒ වෙද්දි මම හිටියෙ දොළහ වසරේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙ, නර්තනය ප්‍රධාන විෂය විදිහට හැදෑරුවත්, අපට නාට්‍ය හා රංග කලාව ගැන ඇසුරක් තිබුණා . ඒ අතරම මම විශ්වවිද්‍යාලයේ බැලේ නාට්‍ය කලාව විෂය හැදැරුවා .

මේ ආ ගමනේ, ඔබ ලද ජයග්‍රහණ මොනවද?

මම ක්ෂේත්‍රයට ආව මුල්ම කාලෙ, 2006 වසරෙ යෞවන සම්මාන උළෙලේ ජාතික තරුණ සේවා සභාවේ එවකට අපේ නාට්‍ය පාඨමාලාව හදාරපු පිරිස කරපු නාට්‍යයේ රංගනය වෙනුවෙන්, මම හොඳ ම නිළිය විදිහට නිර්දේශ වුණා. ඒ වගේම, 2018 සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳ ම සහය නිළිය විදිහටත් නිර්දේශ වුණා. යම් යම් ජයග්‍රහණවලට නිර්දේශ වීම පවා මම හිතන්නෙ ලොකු දෙයක් විදිහටයි. මොකද කුමක් හෝ දක්ෂතාවයක් තියෙන නිසානෙ එහෙම නිර්දේශ වෙන්නෙ .

ටෙලි නාට්‍ය නිළියක් විදිහට ප්‍රසිද්ධ වුණත්, ඔබ වේදිකාව හා සිනමාවේත් ඉන්නවා නේද?

ඔව්. මම වඩාත් කැමැති ක්ෂේත්‍රය තමයි වේදිකාව. මේ වෙද්දිත් මම රඟපාන 'බෝඩිම මාරයි' වේදිකා නාට්‍ය වේදිකාගත වෙනවා. මේ වෙද්දි මම චිත්‍රපට තුනකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ, 'උලත් එකයි පිලත් එකයි' , ' යම රජ සිරි' හා වී.සිවදාසන් මහතාගේ 'දෙවනි යුද්ධය' චිත්‍රපට. 'දෙවනි යුද්ධය' චිත්‍රපටය තිරගත වුණහම, මගේ රංගන දිවියට ලොකු එළියක් ලැබෙයි කියලා මම හිතනවා. මම ඒකෙ රඟපාන්නෙ ප්‍රධාන චරිතයක් නොවුණත්, චිත්‍රපටයට ලොකු බලපෑමක් තියෙන චරිතයක්.

නිතරම උප චරිතවලින් දකින්න ලැබෙන්නෙ, ප්‍රධාන චරිතය ගැන හීනය ඔබට නැති නිසාද?

ප්‍රධාන චරිතයක් ලැබෙනවා නම් අවංකවම කැමැතියි. එහෙම නොලැබුණා කියලා දුක හිතෙන අවස්ථා තියෙනවා. ඒත් ඒ ගැන හිත හිතා දුක් වෙනවට වඩා, ලැබෙන දෙයක් හොඳින් කරලා, ලද අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් ගත්තෙ නැත්නම්, ඒක අප අපටම කර ගන්න පාඩුවක්. අනෙක ප්‍රධාන චරිතය කියන්නෙ දුර්ලභ අවස්ථාවක්නෙ. තිශූල දීප තඹවිට මහත්මයගේ පළිඟු ටෙළි නට්‍යයේ මම ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒක තවම විකාශනය වුණේ නැහැ . කොහොම වුණත් මම, මට ලැබෙන දේ හොඳින් කරනවා කියන අධිෂ්ඨානයෙන් ඉන්නෙ.

ඔබ මෙගා නාට්‍යවල රගපාන්නෙ නැති නිළියක්ද?

නැහැ. මට මෙගා නාට්‍යයද? සීමිත කොටස් ගණනක නාට්‍යයක් ද කියලා ප්‍රශ්නයක් නැහැ . කලාකරුවෙක් එහෙම තෝරනවා නම් ඒකත් වැරැදියි. කලාකරුවෙක් කියන්නෙ, ඕනැම අභියෝගයක් බාර ගන්න හැකි කෙනෙක්.

ඒ කියන්නෙ ඔබ, ඕනැම චරිතයක් රඟපාන්න සුදානම්ද?

ශරීරය නිරාවරණය වන චරිතවලදි මට සීමාවක් තියෙනවා. පවුලේ වටපිටාව, මවුපියන්ගෙ ගෞරවය වගේ දේ ගැන හිතන්නම ඕනැ. අපි එයාලට අගෞරව වෙන දේ කරනවා නම්, අපි කරන දෙයින් වැඩක් නැහැනෙ. අනෙක් චරිතවලදි නම්, කිසි ම බේදයකින් තොරව බාර ගන්නවා.

මේ වෘත්තියෙන් උපයන දේ ප්‍රමාණවත්ද?

වැඩ තිබුණොත් ප්‍රමාණවත්. වැඩ නැති කාලෙට දැඩි අපහසුතාවලට ලක්වෙන අවස්ථා තියෙනවා. ඒත්, මේ දේට තියෙන කැමැත්ත නිසා, ඒ වගේ දේ ගැන නොසිතා, හැම දේම ඉවසගෙන, දරාගෙන වැඩ කරනවා.

හැමදේම ඉවසනවා කියා අදහස් කළේ?‍

සමහර අය අපි කරන වැඩවලට ප්‍රමාණවත් මුදලක් දෙන්නෙ නැහැ. ඒ වෙලාවට ලොකු දුකක් ඇති වෙනවා. ඒත්, මිනිස්සු එක්ක රණ්ඩු වෙන්නත් බැහැනෙ. ඒ නිසා ඉවසගෙන ඉන්නවා. සමහර වෙලාවට ලබාදෙන මුදල හරි දෙනවා නම්, ඒකත් කමක් නැහැ. ඒක දෙන්නෙ නැති අවස්ථාත් තියෙනවා.

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ නර්තන කණ්ඩායම හා නර්තන පාසල තමයි අරමුණ. මේ වෙද්දි මම මගේ නර්තන කණ්ඩායම පටන් අරගෙන වසර දෙක හමාරක් විතර වෙනවා. ඒ වගේම, පාසල් විෂය නිර්දේශයට අනුව දරුවන්ට නැටුම් පන්ති පවත්වනවා. ඉදිරි කාලයේ මේවා දියුණු කරගෙන, නර්තන පාසලක් කරන්න හිතනවා. තව අලුත් කලා කටයුත්තක් තියෙනවා. ඒක ඉදිරි කාලයේ පවසන්නම්.

(Dinamina)

back to top