Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

චන්දිමාල් කඩුලු රකින්නා ලෙස අවසන් 15ට

චන්දිමාල් කඩුලු රකින්නා ලෙස අවසන් 15ට

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා 15 දෙනකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ ප්‍රකාශයට පත් කළේය.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 22කින් සමන්විත මූලික සංචිතයක් පසුගියදා තෝරාගත් අතර ඒ අතුරින් මේ 15 දෙනා නම් කර තිබේ.

හිටපු නායක දිනේෂ් චන්දිමාල් කඩුලු රකින්නා ලෙස මේ තරගාවලියට එක්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය. ඒ අනුව මේ 15 දෙනාගේ සංචිතයට චන්දිමාල් ඇතුළත්ව ඇති අතර ආබාධයක් හේතුවෙන් අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට එක්නොවූ ඇන්ජලෝ මැතිව්ස් ද එක්ව සිටී. එම තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගයේදී ආබාධයකට ලක්වූ ලසිත් ඇඹුල්දෙණිය මෙන්ම එම තරගාවලියට එක්නොවූ ලක්ෂාන් සදකැන්, ළහිරු කුමාරද මේ 15 ට එක්වන ඇත.

ඉන්දියාවේ තරග සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට සහ අකිල ධනංජයට මේ තරගය සඳහා එක්වීමට අවස්ථාව හිමිව තිබේ. ඩිල්රුවන් පෙරේරා ආබාධ තත්ත්වයක් හේතුවෙන් පළමු තරගයට ඇතුළත්ව නැති අතර නවසීලන්තය සමග පෙරේදා ආරම්භවූ තුන්දින පුහුණු තරගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 98ක් රැස්කරමින් දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට මේ 15 දෙනා අතරට එක්වීමේ අවස්ථාව අහිමිවී තිබේ. එමෙන්ම 22 දෙදෙනාගෙන් සමන්විත වූ මූලික සංචිතයට ඇතුළත්ව සිටි ඇන්ජෙලෝ පෙරේරා, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු පළමු තරගය සඳහා නම් කළ සංචිතයේ ඉඩක් වෙන්වී නොමැත.

ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් මේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

පළමු ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, ඕෂද ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු.

(Dinamina)

back to top