Logo
Print this page

ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතා ඉදිරි කාලයේදී සකසාගත යුතුයි

ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතා ඉදිරි කාලයේදී සකසාගත යුතුයි

ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ අංශයේ දුර්වලතා ඉදිරි කාලයේදී සකසාගත යුතු බව ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පවසයි. නවක මුහුණු රැසකින් සමන්විත වූ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් තිදෙනකු හැර අන් සියලු දෙනා දිවා - රාත්‍රී තරග දෙක තුනක් පමණක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් බවද ධනුෂ්ක ගුණතිලක සඳහන් කළේය. දෙවැනි එක්දින තරගය නිමාවීමෙන් අනතුරුව පෙරේදා පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය.

සංචාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් කඩුලු 5ක ජයක් පාකිස්තානය හිමි කර ගැනීමත් සමග තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළේය. පළමු තරගය වැස්සට සේදී ගිය අතර දෙවැනි තරගයෙන් පාකිස්තානයට ලකුණු 67ක ජයක් හිමිවිය.

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50කදී කඩුලු 9කට ලකුණු 297ක් ලබාගත් අතර පාකිස්තානය ඕවර 48.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 299කින් ඉලක්කය පසු කළේය.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 134කදී හයේ පහරක් හා හතරේ පහර 16ක් සමග ලකුණු 133ක් රුස්කළ අතර එය පාකිස්තානයේදී ශ්‍රී ලංකා පිතිකරුවකු ලබාගත් තෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් විය. ටී. එම්. ඩිල්ෂාන් (137) හා සනත් ජයසූරිය (134) මෙයට පෙර වැඩිම ලකුණු වාර්තා කොට තිබිණි. එමෙන්ම කරච්චි ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ධනුෂ්කගේ ඉනිම ඉතිහාසයට එක්විය.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගීවූ අවසන් එක්දින ඉනිම් 5කදී ලකුණු 292ක් ලබා සිටින අතර එයට ශතකයක් හා අර්ධ ශතකයක් ඇතුළත් විය. දසුන් ශානක පන්දු 24කදී හයේ 2ක් හා හතරේ 5ක් සමග ඉක්මණින් ලකුණු 43ක් ලබාගත් අතර පෙරේදා මංගල එක්දින තරගයට සහභාගීවූ මිනෝද් භානුක දැවැන්ත හයේ පහර 2ක්ද සමග පන්දු 39කදී ලකුණු 36ක් රැස්කර ගත්තේය.

පාකිස්තානය පන්දුවට පහරදෙද්දී ශ්‍රී ලංකාවෙන් උඩ පන්දු දෙකක් අත්හැරීම හා ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් මඟ හැරවා ගැනීම විශාල අත්වැරදීම් ලෙස සටහන් විය. එමෙන්ම පන්දු යැවීමේදී නිසි ඉලක්කයක් නොමැතිව පන්දු යැවීම ද පාකිස්තාන පිතිකරුවන්ට අත දිග හැර පහරදීමේ අවස්ථා වැඩි කලේය.

“අලුත්ම කණ්ඩායමක් විදිහට ගොඩක් හොඳ දක්ෂතා තිබුණා. පන්දු රැකීම සියයට සියයක් තිබුනේ නැති බව පිළිගත යුතුයි. විදුලි ආලෝක ධාරා මැද ක්‍රීඩා කරද්දී හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඒක අපේ ගොඩක් ක්‍රීඩකයන්ට තිබුනේ නෑ. පාකිස්තානයට එද්දී තිබුණ පීඩනය කල්පනා කරද්දී ක්‍රීඩා කළ ආකාරය ගැන සතුටු වෙනවා. අපේ නවක ක්‍රීඩකයන් ඉදිරියේදී බොහෝ දේ කරයි” ගුණතිලක පැවැසීය.

“මා හැමදේම කරන්නේ ඉතාම ධනාත්මකව හිතලයි. තරගයක් ජය ගැනීම වෙනුවෙන් කළ හැකි හැම කැපවීමක් ම කරනවා. නවසීලන්තයේදී ආබාධයට ලක්වූ පසුව මාස 4ක් පමණ මට ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. අන්තිම මාස කිහිපයේදී තමයි මගේ බැටින් ප්‍රැක්ටිස් පටන් ගත්තේ. ලොකු වෙනස්කමක් කළේ නෑ. හරි දේ හරි තැනදී කරන්න පුලුවන් වුණොත් සාර්ථකයි” ධනුෂ්ක ගුණතිලක සඳහන් කළේය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ළහිරු තිරිමාන්න වෙනුවට භානුක රාජපක්ෂ ඉදිරියේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලියට එක්වන අතර එම තරග තුන කරච්චි සිට කිලෝමීටර් 1245ක් දුරින් පිහිටි ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පිල ඊයේ සවස කරච්චි සිට ලාහෝර් බලා ගුවන් මගින් ගමන් ගත්තේය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි 20 තරගාවලියේ මුල්ම තරගය හෙට (5), දෙවැනි තරගය 7 වැනිදා හා අවසන් තරගය 9 වැනිදා පැවැත්වීමට නියමිතය.

(Dinamina)

Latest from Dhanushika Niroshani

Design © External links are provided for reference purposes. Srilankanewslive.com is not responsible for the content of external Internet sites. All rights reserved.