Logo
Print this page

ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව 3-0කින් පරදී

ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව 3-0කින් පරදී

මෙල්බර්න් නුවරදී ඊයේ නිමාවු තෙවැනි විස්සයි20 තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරෙහිව කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සමත් විය.

මේ සමගින් තරග 3කින් සමන්විත විස්සය20 තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක පරාජයක් අත්විය.

මෙය ශ්‍රී ලංකාව පිල ඔස්ට්‍රේලියාවේ විස්සයි20 තරගාවලියක් පරාජයට පත්වූ පළමු අවස්ථාව විය. මින් පෙර දෙපිල අතර ඔස්ට්‍රේලියාවේදී විස්සයි20 තරගාවලි 3ක් පවත්වා ඇති අතර ඒ සියල්ල ජය ගැනීමට (1-0, 2-0ක් සහ 2-1කින්) ශ්‍රී ලංකා පිල සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 143ක ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියානු පිල පන්දු 14ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි

අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා වූ ඩේවිඩ් වෝනර් මේ තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය රැස්කරමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ දී ලකුණු 12ක් ලබා සිටි ඩේවිඩ් වෝනර් ලබාදුන් උඩ පන්දුව නායක ලසිත් මාලිංග අතින් හා ආරොන් ෆින්ච් (15) ලබාදුන් උඩ පන්දුව ඕෂද ප්‍රනාන්දු අතින් ගිලිහී යෑමෙන් මනාව ප්‍රයෝජනය ගත් මේ ක්‍රීඩකයන් දෙදෙනා පළමු කඩුල්ලට 69ක සබඳතාවක් ගොඩනැගූහ. ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ එම සබඳතාව නිමාවූයේ පන්දු 25කින් ලකුණු 37ක් ලබාසිටි ෆින්ච් දැවී යෑමෙනි.

ස්ටීව් ස්මිත් ලකුණු 13කටත්, බෙන් මාක්ඩමෝට් ලකුණු 5ක් දවා ගැනීමට නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංග සමත් වූවද වෝනර් සමග එක්වූ ඇෂ්ටන් ටර්නර් පන්දු 29කින් නොබිඳුණු ලකුණු 46ක සබඳතාවක් ගොඩනගමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ටර්නර් පන්දු 15කින් ලකුණු 22ක් රැස්කළ අතර හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් පන්දු 50කින් ලකුණු 57ක් රැස්කිරීමට වෝනර් සමත් වූයේ 15 වැනි අර්ධ ශතකය ලෙසිනි.

කුසල් ජනිත් පෙරේරා හැර සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් ඔස්ට්‍රේලියානු පිලේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 142ක් පමණි.

ධනුෂ්ක ගුණතිලක වෙනුවට ඉනිම ඇරැඹු නිරෝෂන් දික්වැල්ලට සහ කුසල් මෙන්ඩිස්ට සාර්ථක සබඳතාවක් පිහිටුවීමට නොහැකිවූ අතර ඔවුන් දෙදෙනා ලකුණු 30ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

මුළු ලකුණු 3ක් වෙද්දී දික්වැල්ල මුහුණදුන් පළමු පන්දුවෙන් දවා ගැනීමට මිචෙල් ස්ටාක් සමත් විය. අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා සමග එක්ව ඉනිම ගොඩනැගීමට උත්සහ කළ කුසල් මෙන්ඩිස් පන්දු 18කින් ලකුණු 13ක් ලබාසිටියදී පිටියෙන් ඉවත් කිරීමට කේන් රිචඩ්සන් සමත්වූයේ බෙන් මැක්ඩමෝට් උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

මෙන්ඩිස් දැවී යෑමෙන් පසු කුසල් ජනිත්ට එක්වූ අවිශ්ක ප්‍රනාන්දු ඉනිමේ ඉහළම සබඳතාව ගොඩනගමින් මුළු ලකුණු සංඛ්‍යාව 76 දක්වා ඉදිරියට ගෙන ගියේය.

අවිශ්ක ප්‍රනාන්දු දවා ගනිමින් පන්දු 44කදී ලකුණු 43කින් ගොඩනැගුණු එම සබඳතාව නිමාකළ පැට් කමින්ස්, තවත් ලකුණු 23ක් වෙද්දී ඉනිමේ සාර්ථක පිතිකරු කුසල් ජනිත් පෙරේරාද පිටියෙන් ඉවත් කළේය. අවිශ්ක පන්දු 22කින් ලකුණු 20ක් රැස්කළ අතර කුසල් ජනිත් මේ තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කළ එකම අර්ධ ශතකයට හිමිකම් කියමින් ලකුණු 57ක් රැස් කළේය. හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් පන්දු 45කින් ඉනිම ගොඩනැගූ ඔහු ඊයේ වාර්තා කළේ 11 වැනි විස්සයි20 අර්ධ ශතකයයි.

5 වැනි කඩුල්ල ලෙස කුසල් ජනිත් දැවී යෑමට පෙර ඕෂද ප්‍රනාන්දු ලකුණු 6කට දැවී ගිය අතර 7 වැනි කඩුල්ල ලෙස මිචෙල් ස්ටාක්ගේ පන්දුවක කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ෂෙහාන් ජයසූරිය දැවී ගියේ ලකුණු 12ක් ලබා සිටියදීය. ඉනිම නිමාවනවිට භානුක රාජපක්ෂ පන්දු 11කින් ලකුණු 17ක් සහ නායක ලසිත් මාලිංග පන්දු 4කින් ලකුණු 8ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 4ක් සිදුකරමින් ෂෙහාන් ජයසූරිය, ඕෂද ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ සහ ළහිරු කුමාර කැඳවා තිබුණේ ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග, ඉසුරු උදාන වෙනුවටය.

ක්‍රීඩාවෙන් විවේකයක් ගත් ග්ලේන් මැක්ස්වෙල් සමග බිලී ස්ටැන්ලේක් වෙනුවට මිචෙල් ස්ටාක් සහ බෙන් මැකඩමෝට් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා තිබිණි.

(Dinamina)

Latest from Dhanushika Niroshani

Design © External links are provided for reference purposes. Srilankanewslive.com is not responsible for the content of external Internet sites. All rights reserved.