Logo
Print this page

වසර 2022 දී අප ස්වභාවික වායු නිපදවන රටක්

වසර 2022 දී අප ස්වභාවික වායු නිපදවන රටක්

වසර 2022 වන විට ස්වභාවික වායු නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙනු ඇති බව දැඩි සේ විශ්වාස කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ඒ සඳහා වසර 2020 දී එම්- 2 කොටසේ ස්වභාවික වායු ලබා ගැනීම පිළිබඳ සංවර්ධන කටයුතු ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (15) බත්තරමුල්ල මඟ නැඟුම මහ මැදුර ශ්‍රවණාගාරයේ දී තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා ගුවන් ගත චුම්භක හා ගුරුත්වාකර්ෂණ දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සඳහා බෙල්ජියෝ එන්ටර්ප්‍රයිසස් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේ දීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා- මේ වසර හතරට විවිධ තීන්දු තීරණ ගනිමින් නව වැඩ පිළිවෙළකට අවතීර්ණ වී සිටිනවා. ඒ අනුව වසර ගණනක් පුරා නොකෙරුණ ඉතා වැදගත් කටයුතු අවසන් කිරීමට අපට හැකි වුණා.

වෙනස් වන ලෝකය සමඟ තරග කිරීමට නම් රටක් ලෙස අප වෙනස් විය යුතුයි. අපගේ ස්වභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් බුද්ධිමත්ව ඒ සඳහා අප ආයෝජනය කළ යුතුයි. ලංකාවේ තෙල්, ස්වභාවික වායු ඇති බව අප වසර ගණනක් පුරා අසා තිබෙනවා. නමුත් මේවා හැකි ඉක්මණින් ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය ආයෝජනය සහ කාලය ලබා දීමට පසුගිය කාලයේ ආණ්ඩු මැලි වී තිබෙනවා. එම නිසා ඉතා කඩිනමින් මීට යොමුවීමට කටයුතු කළා. අද ආරම්භ වන්නේ එම ක්‍රියාවලියේ එක් කොටසක්.

ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු නිධි කිහිපයක් තිබෙන බව කවුරුත් දන්නවා. එම ස්වභාවික වායුවල ඝන අඩි ට්‍රිලියන නවයක් වැනි ප්‍රමාණයක් ඇති බව සහතික කර තිබෙනවා. දැනට සොයාගෙන ඇති නිධි අතරින් කුඩා නිධියක් තිබෙනවා ඩොරාඩෝ ‍ලෙස. එහි ඝන අඩි බිලියන 350ක වගේ ස්වභාවික වායු නිශ්පාදනය කිරීමට හැකි බවට සහතික වී ඇති අතර දෙවැනි විශාල ස්වභාවික වායු නිධියේ සාමාන්‍යයෙන් ඝන අඩි 1000ක නිෂ්පාදනයක් ගත හැකි බව සහතික වී තිබෙනවා.

එම්- 2 බ්ලොක් එකේ ගවේෂණ කොටසෙහි ස්වභාවික වායු නිධි දැනට ඇගයීමට ලක් කර සංවර්ධනය කිරීම සඳහා සුදුසු ආයෝජනයක් ඊට ලබා ගැනීමට 2019 ජනවාරි මාසයේ ප්‍රසම්පාදන කටයුතු සඳහා ලංසු කැඳවුවා. එය ජූනි මාසයේ අවසන් වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර සමාගම් තුනක් ඉල්ලුම් කර තිබෙනවා. මේ වසර අවසන් වීමට පෙර එයින් අපට සුදුසු ආයෝජකයෙක් තෝරා ගත හැකි බව විශ්වාස කරනවා. මගේ බලාපොරොත්තුව මේ වසර අවසාන වීමට පෙර එම ආයෝජකයා සහ ශ්‍රී ලංකා රජය අතර නිෂ්පාදනය බෙදා ගැනීමේ පදනම මත ගිවිසුම් අස්සන් කිරීමයි. ඉන්පසු 2020 දී එම කොටසේ ස්වභාවික වායු ලබා ගැනීම සඳහා සංවර්ධන කටයුතු ආරම්භ කළ හැකියි. 2022 වන විට කැණීම් කරනවාත් සමගම ස්වභාවික වායු නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙනු ඇති බව දැඩිසේ විශ්වාස කරනවා. එය විශාල ජයග්‍රහණයක්. මෙතැනට යන්න ඉතා සැලසුම් සහගතව හා ක්‍රමවත්ව මේ ආණ්ඩව වැඩ කර තිබෙනවා.

මේ කටයුතුවලට සම්බන්ධ වන්නේ ලෝකයේ ඉහළම තලයේ ආයතන කිහිපයක්වීම පිළිබඳ අප සතුටු වෙනවා. මෙවන් කටයුතුවලට ආයෝජනය කිරීම සඳහා විශ්වාසය තැබීම හරහා අපට ප්‍රමාණවත්ව තෙල් සහ වායු සම්පත් ඇති බවට සහතිකයක්.

එක්සත් රාජධානියත්, ස්කොට්ලන්තයත් සමඟ සබඳකම් තිබෙන බෙල්ජියෝ ස්පේස් සමාගමත් සමඟ අද අප ගිවිසුම් ගතවීම මෙරට සිදු වන්නේ පළවැනි වතාවටයි. ගුවන්ගත ගුරුත්ව දත්ත සමීක්ෂණ සිදු කිරීමේ විශේෂඥ පිරිසක් තෝරා ගෙන පළවැනි වතාවට අපි දත්ත සමීක්ෂණයට මුල පුරනවා. මෙහි ප්‍රධානතම දේ වන්නේ අපේ ආණ්ඩුවට එක් සතයකවත් වියදමක් නොවීමයි. ගිවිසුම් ගතවීමේ දී සම්පූර්ණ ආයෝජනය සිදු වන්නේ බෙල්ජියෝ ස්පේස් ආයතනය හා මල්ටි ක්ලයන්ට් ක්‍රමවේදයක් ඇතුළතයි. ඔවුන් දත්ත සොයා ගත් විට ජාතන්තර ආයතන සමඟ බෙදා ගැනීමෙන් පසු වෙනත් සමාගම් ඒවා මිල දී ගැනීමෙන් එන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වන පරිදියි මෙම ගිවිසුම් අස්සන් කරන්නේ. මෙය අපේ රටට විශාල ශක්තියක්.

(Dinamina)

Latest from Dhanushika Niroshani

Design © External links are provided for reference purposes. Srilankanewslive.com is not responsible for the content of external Internet sites. All rights reserved.