වාර්ගික ශුද්ධයක්
- font size decrease font size increase font size

රෝහින්ග්යා මුස්ලිම්ප්රජාව ඉලක්ක කොට සිදුකෙරෙන මියන්මාර ආරක්ෂක හමුදා ප්රහාර වාර්ගික ශුද්ධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මෙම කෘර හමුදා මෙහෙයුම අවසන් කරන ලෙස මානව හිමිකම් ප්රධානී සෙයිඩ් රාද් අල් - හුසේන් ම්යන්මාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
පසුගිය මාසයේදී රඛයින් ප්රාන්තයේ ප්රචණ්ඩ ක්රියා හටගැනීමත් සමග රෝහින්ග්යා මුස්ලිම් පවුල් 294,000 ක් පමණ අසල්වැසි බංග්ලාදේශ් වෙත පළා ගියහ. රෝහින්ග්යා සන්නද්ධ පිරිස්වල ප්රහාරවලට තමන් ප්රතිචාර දක්වන බව පවසන මියන්මාර හමුදාව තමන් සිවිල් ජනයා ඉලක්ක කරන බවට නැගෙන චෝදනා ප්රතික්ෂේප කරයි. අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්යා සන්නද්ධ පිරිස් පොලිස් මුරපොලවලට පහරදී ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු ඝාතනය කිරීමත් සමග ප්රචණ්ඩ ක්රියා ඇරඹිණි. ගම්මාන ගිනිබත් කරමින්, පහර දෙමින් හා සිවිල් ජනයා මරාදමමින් හමුදාව කෘර ලෙස ප්රතිචාර දැක්වූ බව මියන්මාරයෙන් පළා ගිය රෝහින්ග්ය ජනයා පවසා තිබිණ. 2012 වසරේ රඛයින් ප්රාන්තයේ හට ගත් ගැටුම් හමුවේ සිය ගම්බිම් හැර යාමට සිදු වූ රෝහින්ග්යා වැසියන් බොහෝ දෙනෙක් තාවකාලික කඳවරු තුළ දිවි ගෙවති. මියන්මාරයේ දුගී ප්රාන්තවලින් එකක් වන රඛයින් ප්රාන්තයේ දිවි ගෙවන ඔවුහු රැකියා ලබා ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙති. 2016 වසරේ හට ගත් ප්රචණ්ඩ ක්රියා හමුවේ ආණ්ඩුවේ හමුදා විසින් ස්ත්රී දූෂණ, ඝාතන, ගම්මාන ගිනි තැබීම සහ වධහිංසා පමුණුවන ලද බවට රෝහින්ග්යා වැසියෝ චෝදනා කළහ.